Saturday 20th of June 2026

English Tamil
Advertiesment


කෝටි දස දහසක බදු අය කර ගෙන නැහැ 


2021-10-07 16122

 

නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරයෙනුත් කෝටි 13ක පාඩුවක් 
 

 

 

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සිය "ලේජසි" සහ "රමිස්" පද්ධති දෙක හරහා 2021 වර්ෂයේ දී රජයේ ආයතන රැසකින් රුපියල් කෝටි දහ දහස් පන්සීයකට වැඩි හිඟ බදු  මුදල් ප්‍රමාණයක්  අයකර ගත යුතුව තිබුණත්  එමගින් අය කර ගෙන ඇත්තේ රුපියල් කෝටි හාරසිය හතළිස් දෙකක් පමණක් බව හෙළිදරව් වී තිබේ.

මේ බව හෙළිදරව් වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ  ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව අනුව වන අතර බදාදා (06) එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එම කාරක සභාවේ සභාපති මහාචාර්ය  තිස්ස විතාරණ මහතා විසිනි.  

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සිදු කළ රාජ්‍ය ආයතනවලට අදාළ  විමර්ශන 16 ක තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වන බවත් මෙම විමර්ශනවල තොරතුරු  දැක ගන්නට ලැබීමෙන් තමා විශ්මයට පත්වූ බවත් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (06) පැවැසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ "ලෙජසි"  පද්ධතියට අනුව 2021 වසරේ මාර්තු මස 30 වැනිදා වන විට හඳුනා ගත් ආයතනවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් රුපියල් කෝටි 1800ක් වූ නමුත් එමගින් අය කර ගෙන ඇත්තේ රුපියල් කෝටි හතළිස් දෙකක් පමණි.

එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ "රමිස්" පද්ධතියට අනුව 2021 වසරේ මාර්තු මස 30 වැනිදා වන විට පැවැති හිඟ බඳු ප්‍රමාණය රුපියල් කෝටි   8700ක් වී තිබුණු නමුත් මෙම ප්‍රමාණයෙන් මුදලින් අය කර ගෙන ඇත්තේ රුපියල් කෝටි  400ක් පමණක් බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.

මේ අතර නොරොච්චෝලේ තාප විදුලි  බලාගාරයට ගෙනා ගල් අඟුරුවලට බදු අය කිරීමේ දී සිදුවූ වැරැද්දක් නිසා රුපියල් කෝටි 13 කට වැඩි ආදායමක් රජයට අහිමි වී ඇතැයි ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ  ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

 
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment